Home » » Black Panther 2018

Black Panther 2018

 Marvel Cinematic Universe හි මින් පෙර දැක නොවූ විරූ අලංකාරයක්. Visually stunning බවින් අගතැන්පත් සේම Cultural වගේම Ideological රාජ්‍යයක විස්තරයක්. පුරාවෘතයක වීරත්වයෙන් නමුත් තවමත් ලොවෙන් සැඟවුණු ලොව අතිප්‍රභලම රාජ්‍යයක විශ්මය පළමු වරට Marvel Cinematic Universe තුළට ප්‍රවේශ කරලීමේ අලංකාරය වෙනත් කිසිදු Marvel චිත්‍රපටයකින් නොදුටු තරම්. Black Panther ව හඳුන්වාදුන්නා වුවත් ඔහුගේ නිජබිම සම්බන්ධයෙන් මේ තරම් දැවැන්ත චිත්‍රයක් මැවී තිබුනේ නැහැ. සැබැවින්ම මේ නම් සුපිරිවීර සිනමාත්මක පෙළහරක්. වකන්ඩාව තුළ දකින ලෝකය පිරී ඉතිරී තිබෙන නා නා ප්‍රකාර දෑ තුළින් Marvel යුනිවර්සයෙන් ප්‍රේක්ෂකයාව වෙන්කර තබාගන්නට සමත්. වකන්ඩාවේ සුන්දර භූ විශමතාවයන් සේම අති නවීන තාක්ෂණික මෙවලම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර ආදීන් Tony Stark designs ද පරදවන තරම්. ලොවට හොරා ලොවක් ඇතුලෙ පවත්වාගෙන ආ රාජ්‍යයක තතු මෙතෙක් ලොවෙන් සැඟව තිබුනේ මන්ද යන්නත්, ඔටුන්න හිමි කුමරාට සිය රාජ්‍යය භාර ගැන්මටත්, ඉන් ඉදිරියට රාජ්‍යයත්වය පවත්වාගෙන යාමටත්, අනපේක්ෂිතව මතු වූ බරපතළ අභියෝගයන්ට ඔහු මුහුණ දීමේදී සුපිරිවීර Balck Panther අනන්‍යතාවත්, රාජකීය නායකත්වය බුද්ධිමත්ව යොදාගැනීමත්, සාම්ප්‍රදායික පිළිවෙතින් බැහැරව ලෝකෙත් එක්ක ඉදිරියට යන්නට පියවර තැබීමත් වශයෙන් දැවැන්ත භූමිකාවක් ගොඩනගා තිබුනා. සුපිරි බලයක් හිමි සුපිරිවීරයා විසින් ලොවට තර්ජනයක් වූ සුපිරි සතුරෙකු පරාජය කරලීමකට වඩා යමක් අන්තර්ගතයි. 

අන්තර්ගතය සැකසීමේදී තනි කලු අධිරාජ්‍යය උපත ලැබූ දා සිට මේ වනතෙක්ම අතිවිශේෂ තාක්ෂණික පොහොසත්කමකින් අගතැන්පත් ව සහ තනි කලු අලංකාර සංස්කෘතියක නොවෙනස් අනන්‍යතාවක් පවත්වාගනිමින් Marvel යුනිවර්සයේ එතෙක් මෙතෙක් දුටු ආකර්ශනීයම ප්‍රාණීන් කොට්ටාශයක් වශයෙන් වකන්ඩාවරුන්ව හැඩගස්වා තිබුනා. පිරිසුදු අප්‍රිකානු ගෝත්‍රික සම්භවයන් වඩ වඩාත් ඉස්මතු කරවමින් ඇඳුම් ආයිත්තම් වලින් මවා පෑ අසිරියම මනරම්ම එකක්. ඒ එක්කම මුසු කර තිබුනු අප්‍රිකානු සංගීතයත් මීට කලින් Marvel චිත්‍රපට වලින් අහන්නට නොලැබුණු එකක්. සංගීතයටත් ලොකුම ක්‍රෙඩිට් එකක් හිමි වෙන්නම ඕන Kendrik Lamar විසින් සපයා දුන් ඔරිජිනල් ගීතත් ඇතුලුව. රජු සහ කිරුළට අභියෝග කරන්නාගේ බලය ජවය ශක්තිය, මුහුණට මුහුණ ලා කෙරෙන සටන්කාමීත්වය කියන දේ අතිශය සාධාරණව මතු කරවල තිබුනා. Chadwick Boseman Vs Michael B. Jordan කියන ගැටුමක් තමයි පැහැදිලිවම දකින්නට ලැබුනේ. රාජ්‍යය, රජුගේ සටන එක පැත්තකින් තිබ්බොත් අනිත් පැත්තට දාන්න පුලුවන් එකිනෙකා පරයමින් තිරය මත වැඩිම ආකර්ශනය දිනාගන්නට පොර කන කාන්තා ත්‍රිත්වය Lupita, Danai සහ Letitiaව. T'Challa සහ Nakia අතර ගොඩනැගෙන සීමාසහිත ප්‍රේමණීය බව අපූරුවටම දැනෙන එකක්. රජුගේ අංගාරක්ෂක බලකායේ අධිපතිනිය සහ වකන්ඩාවෙහිම රණශූරීය වශයෙන් ප්‍රභලතම පෞරුෂයකට හිමිකම් කියන Okoye සහ රජු අතර පවත්නා රාජකාරී මට්ටමේ සහසම්බන්ධතාවය රාජපාක්ෂික, අනුශාසක සහ ලෙංගතු මිත්‍ර සමාගමයක භූමිකාවක් වශයෙන් ගොඩනගා තිබුනා. හැබැයි මම නම් හිතන්නේ නිරායාසයෙන්ම සියල්ලන්ම අභිබවා විශේෂිත ප්‍රේක්ෂක අවධානයකට නතු වෙන්නේ බුද්ධියට සමානුපාතිකවම දැගලිල්ලෙනුත් අඩුවක් නැති රජුගේ සුරතල් සොයුරිය Shuri වෙන්නට ඕන. චිත්‍රපටය තුළට James Bond අභාශයක් ප්‍රවේශ කරවන්නට සමත් ඇගේ තාක්ෂණික නව උත්පාදනයනුත් ඈ තරමටම ආකර්ශනීයයි. Busan chase එක තුලදී දෙදෙනාගේම එකතුව හොඳින්ම දැක ගන්නට සලස්වා තිබුනා.

Marvel වීර කාව්‍යක් විදිහට සෑම අතින්ම සම්පූර්ණයි. මේ වනවිට සාර්ථකත්වයේ හිනිපෙත්තටම පියනගා අවසන් ලොව පුරාම. ප්‍රධානතම කාරණය වුනේ කීප වතාවක්ම සඳහන් කළ පරිදි "මින් පෙර නොදුටු යමක්" දකින්නට ලැබීමම තමයි. Black Panther විදිහට Marvel කරළියට අලුතින්ම එකතු වූ සුපිරි වීරයාත් සමඟින් තවත් බොහෝ කතන්දරයන් එළිදකිනු ඇති. 

0 comments:

Post a Comment

Popular Posts

Search This Blog

Notes

Pages

Video Of the Day

Facebook

 
Copyright © 2015 Free Movies Unlimited
Distributed By Gooyaabi Templates